Subscribe:

භික්ෂුවගේ දිවි නසා ගැනීමෙන් පෙන්නුම් කරන්නේ ආණ්ඩුවේ ශිෂ්‍ය මර්දනයේ තරමයි - අ.වි.බ.ම. කැඳවුම්කරු

     අනුරාධපුර බුද්ධශ්‍රාවක විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ නමක් සිය දිවි නසා ගැනීමේ සිදුවීමෙන් පෙන්නුම් කරන්නේ වත්මන් ආණ්ඩුවේ ශිෂ්‍ය මර්දනයේ බරපතළ කම බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.

      ඔහු මේ බව ප්‍රකාශ කළේ අනුරාධපුර බුද්ධශ්‍රාවක භික්ෂු විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ නමක් වස පානය කර අපවත්වීමේ සිදුවීම සම්බන්ධයෙන් අප වෙත අදහස් දක්වමිනි. එහිදී අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය.

     මේ වන විට විශ්වවිද්‍යාල පද්ධතිය තුළ බරපතළ ශිෂ්‍ය මර්දනයක් දියත් වෙමින් තිබෙනවා. සිසුන්ගේ සාධාරණ ඉල්ලීම්වලට ආණ්ඩුව පිළිතුරු දෙන්නේ මර්දනය දියත් කිරීමෙන්. කිසිදු පදනමකින් තොරව සිසුන්ගේ පංති තහනම් කරනවා, විභාග අත්හිටුවනවා. ඒ ආකාරයට සදාකාලිකව පංති තහනම් කළ ශිෂ්‍යයින් විශාල ප්‍රමාණයක් සිටිනවා. ආණ්ඩුව පංති තහනම් කරන්නේ කිසිදු පදනමකින් තොරවයි. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අපවත්වූ භික්ෂූන් වහන්සේ කෙනෙකුගෙත් පංති තහනම් කළා. ආණ්ඩුව මෙම දඩුවම් දීමේදී සිසුන්ගේ ජීවිත ගැන සිතන්නේ නැහැ.

     තමන්ගේ න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කර ගැනීම සඳහා සිසුන්ගේ ජීවිත බිලි ගනිමින් සිටින මෙම ආණ්ඩුවේ ක්‍රියා කළාපය වහා අවසන් කළ යුතුයි. ඒ සඳහා අත්වැල් බැඳගන්නා ලෙස දේශමාමක ජනතාවගෙන් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය ඉල්ලා සිටිනවා.

0 comments:

Post a Comment