Subscribe:

"එකඟ වෙනු නැතිනම් දංගෙඩියට යනු" -උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ තේමා පාඨය වෙලා - මානව හිමිකම් කේන්ද්‍රය

      සරසවියට අවශ්‍ය වන්නේ මිලිටරි විනයක් නොව ශාස්ත්‍ර විනයක් බවත් , ආණ්ඩුව විසින් සරසවි සිසුන්ට හමුදාව ලවා පුහුණුවක් ලබාදීම හෘද සාක්ෂියේ නිදහස සීමා කිරීමක් බවත් ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

      සරසවි සිසුන්ට අවශ්‍ය වන්නේ එක් නායකයෙකුගේ අණ පිටුපස අන්ධානුසාරයෙන් ගමන්ගන්නා මිලිටරි විනයක් නොව පර්යේෂණ හා විමසුම් ඇසුරෙන් ශාස්ත්‍ර ගවේෂණය සඳහා පුහුණු කිරීමේ සහ හේතුවාදී තීන්දුවලට එළඹීමේ ශාස්ත්‍ර විනයක් ඇතිකිරීම බවද එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රජිත් කීර්ති තෙන්නකෝන් මහතා එමඟින් වැඩිදුරටත් පවසා තිබේ.

     බෞද්ධ ආභාෂය මත පෝෂණය වූ මෙරට උසස් අධ්‍යාපනයේ කේන්ද්‍රීය ලක්‍ෂණය හේතුවාදී දැනුම් ගවේණය බව පෙන්වා දෙන කීර්ති තෙන්‍නකොන් මහතා පවසන්නේ 1978 අංක 16 දරණ විශ්වවිද්‍යාල පනත සකස් කොට ඇත්තේ ද ශාස්ත‍්‍ර ගවේශණය සඳහා වන දොරටුව එක් එක් උසස් අධ්‍යාපනය ආයතනයට අනුරූප ලෙස සකස් කොට ගැනීමේ නිදහස තහවුරු වන පරිද්දෙන් බවයි. එහෙත් ගෙවීගිය දශකයක කාලය පුරා අප විසින් අත්දකිමින් සිටින්නේ විශ්වවිද්‍යාල ක්ෂේත්‍රයට ලබා දී ඇති ශාස්ත‍්‍ර නිදහස සීමා කිරීමේ උපක‍්‍රම සහ ව්‍යවහාරයන් බවද හෙතෙම වැඩිදුරටත් පවසයි.

     මෙලෙස ආණ්ඩුව විසින් සරසවි අධ්‍යාපනය සඳහා සුදුසුකම් ලබා සිටින සිසුන් සඳහා හමුදා කඳවුරු තුළදී අනිවාර්යය පුහුණුවක් ලබාදීම සිසුන් බහුතරයකගේ කැමත්තට එරෙහිව සිදුවන්නක් බව පවසන ඒ මහතා පවසන්නේ එය ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 10 වන වගන්තිය මඟින් තහවුරු කොට ඇති "හෘද සාක්ෂියේ නිදහස"ට එල්ල කරන ලද බලපෑමක් බවයි.

     වත්මන් විශ්වවිද්‍යාල ක්ෂේත්‍රයේ ශාස්ත‍්‍ර නිදහස සීමා වෙමින් පවතින බව"ශ‍්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය"විසින් මෙයට පෙර නිකුත් කරනු ලැබූ වාර්තාවන්ගෙන් ද දිගින් දිගටම පෙන්වා දෙනු ලැබූ බවද.ගෙවී ගිය දශකයක කාලයේ දී දේශපාලන අදහස් දැරීමේ සහ ප‍්‍රකාශනය හේතු කොට ගනිමින් විශ්වවිද්‍යාල ක්ෂේත්‍රයෙන් නෙරපා දමනු ලැබූ බුද්ධිමත් සංඛ්‍යාව විශාල බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

     උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ තේමා පාඨය බවට "එකඟවෙනු නැතිනම් දංගෙඩියට යනු" යන්න පත්වෙමින් ඇති බවද තෙන්නකොන් මහතා පෙන්වා දෙයි.

     අද වන විට විශ්වවිද්‍යාල පනත මගින් මෙරට උසස් අධ්‍යාපන ආයතන සඳහා ලබාදී ඇති සකල විධ ශාස්ත‍්‍ර නිදහස අමාත්‍යාංශය මගින් නැවත උදුරා ගනිමින් සිටින බවත් සරසවි සිසුන්ට හමුදා කඳවුරු තුළ පුහුණුව ලබාදීම තුළින් පමණක් නොව කථිකාචාර්යවරුන්ගේ වැටුප් විෂමතා සම්බන්ධයෙන් එම අමාත්‍යාංශයේ ප‍්‍රවේශය ද එයට සාක්‍ෂි සපයන බවත් එම නිවේදනයේ සඳහන් වේ.

0 comments:

Post a Comment