Subscribe:

සරසවි ඇදුරු අරගලයට අධ්‍යාපන වෘත්තිකයන්ගේ සහය

     විශ්වවිද්‍යාල ආචාර්යවරුන් විසින් සිය ඉල්ලීම් දිනාගැනීම සදහා ඇරඹූ වෘත්තීය ක්‍රියාමාර්ගය දියාරු කිරීම සඳහා උසස් අධ්‍යාපන අමාත්‍යවරයා දරණ උත්සාහය දැඩි පිළි‍කුළෙන් යුතුව හෙළා දකින බව අධ්‍යාපන වෘත්තිකයින්ගේ සංගමය පවසයි.

     විශ්වවිද්‍යාල ආචාර්යවරුන් උසස් පෙළ ඇගයීම් ක්‍රියාවලිය සඳහා දායකත්වය ලබානොදේනම් විභාග දෙපාර්තමේන්තුව සහ අධ්‍යාපන අමාත්‍යාංශය ඉතාම කැමැත්තෙන් අදාල රාජකාරි වෙනත් පිරිස් වෙත පැවරීමට කටයුතු කරන බවට විශ්විවිද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් අදහස් දක්වමින් එස්. බී. දිසානායක අමාත්‍යවරයා ඊයේ (06 සිකුරාදා) ප්‍රකාශ කර තිබිණි.


     ඇමතිවරයා විසින් කරන ලද ප්‍රකාශය පදනම් විරහිත බව පෙන්වා දෙන අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ ලේකම් වසන්ත ධර්මසිරි මහතා පවසන්නේ උසස් පෙළ උත්තරපත්‍ර ඇගයීම් කටයුතු වෙනුවෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් වෙනුවට විදුහල්පතිවරුන් හෝ ගුරුවරුන්ගේ සේවය ලබාගැනීමට අමාත්‍යවරයා උත්සාහ දරන්නේ නම් එම උත්සාහය පරාජය කිරීමට තමන් සූදානම් බවයි.


     ගුරුවරුන් යොදවාගනිමින් තවත් වෘත්තීය අරගලයක් දියාරු කරවීමට රජය සූදානම් වන්නේ නම් එම උත්සාහය පරාජය කිරීමට සියලුම ගුරු වෘත්තීය සමිති සූදානම් බවද අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ ලේකම්වරයා වැඩිදුරටත් පවසයි. ඒ අනුව ගුරු වෘත්තිකයන් මේ මොහොතේදී විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට ශක්තියක් වනවා මිස ඔවුන්ගේ සටන දිය කිරීම සඳහා සහය දැක්වීමට සූදානම් නැති බවද ඒ මහතා අවධාරණය කර සිටී.

0 comments:

Post a Comment