Subscribe:

කුමන බාධා පැමිණියත් අයිතීන් වෙනුවෙන් සටන් වැදීමට සිසුන් පසුබට වන්නේ නැහැ - අ.වි.ශි.බ.ම කැඳවුම්කරු

      කුමන බාධා පැමිණියද තම අයිතීන් වෙනුවෙන් සටන් වැදීමට ශිෂ්‍යයින් කිසිසේත් පසුබට නොවන බවත් සිසුන්ගේ එම අරගලයට අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය ලෙස නායකත්වය සපයන බවත් එම බල මණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය. ඔහු මේ බව ප්‍රකාශ කළේ සබරගමුව විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගම් තහනම් කිරීමට පාලනාධිකාරිය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් අප වෙත අදහස් දක්වමිනි.


     එහිදී අදහස් දැක්වූ ඒ මහතා පෙන්වාදුන්නේ මෙය වත්මන් ආණ්ඩුව ශිෂ්‍යයින් වෙත දියත්කර ඇති මර්දනයේ තවත් එක් අවස්ථාවක් බවයි. සිසුන්ගේ සාධාරණ ඉල්ලීම් ලබා දෙනවා වෙනුවට එම ඉල්ලීම් ඉල්ලා සටන් වදින සිසුන් මර්දනය කිරීමේ දිශාවට ආණ්ඩුව යොමුව ඇති බවත් එම තත්වය දැඩි පිළිකුළින් යුතුව හෙලා දකින බවත් ඔහු ප්‍රකාශ කළේය.
තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා, විශ්වවිද්‍යාල තුළ ශිෂ්‍ය සංගම් සිදුකළේ නීතිවිරෝධී කටයුතු නොවන බවත් ඒවා සැමවිටම සිසුන්ගේ අයිතීන් වෙනුවෙන් කටයුතු කළ බවත් පෙන්වාදුන්නේය. එමෙන්ම සබරගමුව සරසවිය තුළ සිසුන් වෙනුවෙන් හඩ නැගි සිසු නායකයින් 58 දෙනෙකුගේ පංති තහනමට ලක්කර ඇති බවත් එයින්ද නොසැලී සිසුන් දිගටම ඉල්ලීම් වෙනුවෙන් පෙනී සිටි මොහොතේ මෙලෙස ශිෂ්‍ය සංගම් තහනම් කිරීමට ආණ්ඩුව කටයුතු කර ඇති බව ඔහු ‍පෙන්වු දුන්නේය.

     කෙසේ වෙතත් ශිෂ්‍ය සංගම් තහනම් කිරීමෙන් සිසු අරගල නතර කළ නොහැකි බව අවධාරණය කළ ඒ මහතා මින් ඉදිරියටත් සිසුන් තම ඉල්ලීම් වෙනුවෙන් සටන් වදින බව ප්‍රකාශ කළේය.

සබරගමුවේ සියලු ශිෂ්‍ය සංගම් තහනම් කෙරේ


     වහාම ක්‍රියාත්මකවන පරිදි සබරගමුව විශ්වවිද්‍යාලයේ සියලුම ශිෂ්‍ය සංගම් තහනම් කළ බව එහි උපකුලපති මහාචාර්ය එස්.රූපසිංහ මහතා ප්‍රකාශ කළේය. ඔහු ප්‍රකාශ කළේ ශිෂ්‍ය සංගම් විසින් සරසවිය තුළ ක්‍රියාත්මක විනය නීති රීතීන් උල්ලංඝනය කිරීමට සිසුන් වෙත අනුබල සපයන බැවින් මෙම පියවර ගත් බවයි.

දේශපාලකයින්ගේ මැදිහත්වීමෙන් අධ්‍යාපනයේ පරිපාලනය බිඳ වැටෙනවා - මැල්කම් කාදිනල් රංජිත් හිමි

      


     දේශපාලනඥයා අධ්‍යාපනයට ඇතුළු වීමෙන් එහි විනය හා හැඩගැසීම පිරිහීමට ලක් වන බව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පවසති. අද රජයට මේ තත්වය තේරුම් ගැනීමට නොහැකි වී තිබීම කණගාටුවට කරුණක් බවද උන්වහන්සේ පැවසූහ. කාදිනල් රංජිත් හිමිපාණන් මේ බව පැවසුවේ, සීදූවේ කතෝලික ජාත්‍යන්තර පාසලක් විවෘත කිරීමේ උත්සවයකට සහභාගි වෙමිනි. දේශපාලනය අධ්‍යාපනයට සම්බන්ධවීමෙහි එහි පරිපාලනය බිඳ වැටෙන බවද උන්වහන්සේ එහිදී පෙන්වා දුන්හ.