Subscribe:

සති දෙකකින් විසඳුම් නැත්නම් අනධ්‍යයන සේවකයෝත් වෘත්තීය සටනකට

     දීර්ඝ කාලයක්‌ තිස්‌සේ සරසවි අනධ්‍යයන සේවකයෝ මුහුණපාන ගැටලුවලට දින 14ක්‌ ඇතුළත විසඳුම් නොලැබුණහොත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්‌ඩල සාමාජිකයෝ තීරණය කර සිටිති.මේ බව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට අද (26 වැනිදා) ලිඛිතව දැනුම් දෙන බව අන්තර් විශ්වවිද්‍යාලයීය වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති ආර්. එම්. චන්ද්‍රපාල මහතා පැවැසීය.

      දසදහසක්‌ පමණ වන අනධ්‍යයන කාර්ය මණ්‌ඩල සාමාජිකයන් නියෝජනය කරන වෘත්තීය සමිති දහසයකින් සමන්විත එම සම්මේලනයේ විධායක සභාව රැස්‌වී මෙම තීරණ ගෙන ඇති අතර ජනාධිපතිවරයාට අමතරව උසස්‌ අධ්‍යාපන ඇමැති එස්‌. බී. දිසානායක, උසස්‌ අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය ගාමිණී සමරනායක යන මහත්වරුන්ට ද සිය තීරණ ලිඛිතව දැනුම් දෙනබව සභාපතිවරයා තවදුරටත් සඳහන් කළේය.

      සියලුම රජයේ සේවකයන්ට පසුගිය 2006 වසරේ ලබා දුන් වැටුප්වැඩිවීම අනධ්‍යයන කාර්ය මණ්‌ඩලවලට නොලැබුණු අතර වැඩවර්ජනයක නිරත වෙමින් 2007වසරේදී දිනාගත් දීමනාවෙන් මෙතෙක්‌ එම කාර්ය මණ්‌ඩල සාමාජිකයන්ට ලැබී ඇත්තේ සියයට පනහක්‌ පමණි. ඉතිරි සියයට පනහ මෙම වසර මුල් භාගයේදී ලබාදෙන බවට ඇමැති එස්‌. බී. දිසානායක මහතා දුන් පොරොන්දුව මෙතෙක්‌ ඉටු වීනැත. මීට වසර කිහිපයකට පෙර ක්‍රියාත්මක කරන ලද බී. සී.පෙරේරා වැටුප් කොමිසමේ නිර්දේශ අනුව විශ්වවිද්‍යාල කාර්යමණ්‌ඩලයන්හි වැටුප් විෂමතා වර්ධනය වී ඇති බව ද මෙම ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අවස්‌ථාවක්‌ ලබා දෙන්නැයි කළ ඉල්ලීමට බලධාරීන්ගෙන් ප්‍රතිචාරයක්‌ නැති බව ද චන්ද්‍රපාල මහතා කීවේය.

      එමෙන්ම සිය වැටුප් වැඩි කර ගැනීම සඳහා වෘත්තීය ක්‍රියාමාර්ග ආරම්භ කර සිටින විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේගැටලුවලට ද විසඳුම් ලබාදීමට බලධාරීන් මැදිහත් විය යුතුයැයි ද හෙතෙම සඳහන් කළේය.

      වසර කිහිපයක්‌ තිස්‌සේ පවතින ගැටලු නිසා තම සාමාජිකයන් නොසන්සුන් වී සිටින බවත් දින 14ක්‌ ඇතුළත විසඳුමක්‌ නොලදහොත් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත් සභාපතිවරයා පැවැසීය.

0 comments:

Post a Comment