Subscribe:

සිසු මර්දනයට එරෙහි පාගමනක් හා උද්ඝෝෂණයක්

     අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලය මගින් සංවිධානය කළ විරෝධතා පාගමනක් 2011 මැයි 12 වෙනි බ්‍රහස්පතින්දා පෙරවරුවේ කොළඹ විහාරමහාදේවී උද්‍යානයෙන් ආරම්භ කොට උසස් අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරියට ගමන් කරන ලදී.

      ආණ්ඩුව විසින් ගෙන යනු ලබන ශිෂ්‍ය මර්දනයේ පීඩනයට හසුව, එම පීඩනකාරී තත්ත්වය දරා ගත නොහැකි හේතුවෙන් බුද්ධ ශ‍්‍රාවක බෞද්ධ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය කටුකෙන්දේ සිරි සුනන්ද හිමියන් අපවත් වීම සිදුව තිබුණි. ඒ සඳහා බලපෑ හා සමස්ත ලාංකේය සිසුන් වෙත එල්ල කර ඇති මර්දනයට විරෝධය පාමින් මෙම පා ගමන පැවැත්වූ අතර උසස් අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිටට රැස් වූ භික්ෂූන් වහන්සේලා විරෝධතා ව්‍යාපාරයක ද නිරතවූහ.


     මෙහිදී අදහස් දැක්වූ අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු කඹුරුපිටියේ ඥාණීස්වර හිමියන් පවසා සිටියේ මෙම අපවත්වීමට ආණ්ඩුව වගකිව යුතු බවය. තවදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ

     ‘‘ආණ්ඩුව මේ වනවිට සමස්ත විශ්වවිද්‍යාලයීය පද්ධතිය පුරාවට ගෙන යනු ලබන අත්තනෝමතික මර්දනයේ එක් ප‍්‍රතිපලයක් තමයි මේ හාමුදුරුවන් වහන්සේගේ අපවත් වීම. ආණ්ඩුව ඇතුළු විශ්වවිද්‍යාලයීය පරිපාලනය විසින් කිසිදු සොයා බැලීමකින් තොරව කිසිදු පදනමකින් තොරව ශිෂ්‍යයන්ගේ ජීවිත හා අනාගතය ගැන කිසිඳු අයුරකින් සොයා නොබලමින් සිසුන් වෙත දැඩි දඬුවම් පමුණුවමින් සිටිනවා. එම ක‍්‍රියාවලියේ ප‍්‍රතිපලයක් ලෙස තමයි පසුගිය 06 වනදා කටුකෙන්දේ සිරි සුනන්ද ස්වාමීන් වහන්සේ ඇතුළු බුද්ධ ශ‍්‍රාවක බෞද්ධ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා 04 නමකගේ විභාග ප‍්‍රතිපල අත්හිටුවනු ලැබුවේ. උන්වහන්සේ අපවත්වීමට පළමුව ලියා තබා ඇති ලිපියේ සඳහන් වෙනවා තමන්ගේ ප‍්‍රතිපල අසාධාරණ ලෙස තහනම් කිරීම නිසා තමන්ගේ බලාපොරොත්තු විනාශ වුණු බව.

      මෙසේ විභාග ප‍්‍රතිපල තහනම් කරන ලද භික්ෂූන් වහන්සේලා අතර විභාගයට පෙනී නොසිටි ස්වාමීන් වහන්සේ නමක්ද සිටිනවා. මේ වගේ අත්තනෝමතික පංති තහනම් කිරීමක් මීට පෙර මෑත වකවානුවේද ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දී ද සිදුවුණා ඔබ හැමටම මතක ඇති. ඉතිං මෙසේ විශ්වවිද්‍යාල පරිපාලනය ආණ්ඩුවේ වුවමනා එපාකම් අනුව කිසිදු වග විභාගයකින් තොරව ලාංකේය සරසවි සිසුන් වෙත සිදු කරන මේ මර්දනයට එරෙහිව ක‍්‍රියාමාර්ග ගත යුතු වෙනවා.

      මුළු මහත් ශිෂ්‍ය ප‍්‍රජාවගෙන් වගේම ආදරණීය අම්මා තාත්තාගෙන් අපි ඉල්ලා සිටිනවා මේ මර්දනයට එරෙහිව පෙළ ගැසෙන්න කියලා. මේ මොහොතේ මේ මර්දනය විශ්වවිද්‍යාල පද්ධතියට යොමුවෙනවා වගේම මේ මර්දනයේ මීළඟ ගොදුර බවට ඔබ පත් වෙන්න පුළුවන්, ඔබේ දුවා දරුවා ඔබේ සහෝදර සහෝදරියන් පත්වන්න පුළුවන්. අපි ඔබ සැමගෙන් ඉල්ලා සිටිනවා ආණ්ඩුව මේ ගෙන යන අත්තනෝමතික දැඩි මර්දනකාරී තත්ත්වයට එරෙහිව අපත් සමඟ පෙළ ගැසෙන්න කියලා’’


0 comments:

Post a Comment