Subscribe:

ආචාර්ය වැටුප් ඉල්ලීමට විසදුම.....

      පෙරේදා (03 සිකුරාදා) පැවැත්වූ සාකච්ඡාවේදී සිය ඉල්ලීම් සම්බන්ධයෙන් බලධාරීන්ගෙන් සුභවාදී ප්‍රතිචාරයක් හිමිවූ බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසයි. අප කළ විමසීමකදී ආචාර්ය සමිති සම්මේලනයේ ප්‍රකාශකයෙක් මේ බව අනාවරණය කළේය.
         මෙම සාකච්ඡාවට පොරොන්දු වූ පරිදි ජනාධිපතිවරයා සහභාගී නොවුනද රජයේ නිලධාරීන් කිහිපදෙනෙකු සහභාගී වීම විශේෂත්වයක් බවද ඔහු සඳහන් කළේය. මේ සඳහා මුදල් අමාත්‍යාංශ ලේකම් පී. බී. ජයසුන්දර, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ගාමිණී සමරකෝන්, වැටුප් හා සේවක සංගමයේ කොමසාරිස් සහ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වී තිබේ. එහිදී රජය වෙනුවෙන් පැමිණ සිටි සියලු නිලධාරීන් ආචාර්යවරුන්ගේ වැටුප් ඉල්ලීම සාධාරණ බව පිළිගෙන ඇති අතර ඒ මත පදනම්ව වැටුප් වැඩිකිරීම ලබාදීමට ඔවුන් කැමැත්ත පළකර තිබේ. එහෙත් ඉන් අනතුරුව ගැටලුව වී ඇත්තේ කවදා සිට මෙම වැටුප් වැඩිකරන්නේද යන්න පිළිබඳවය. මෙහිදී ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය විසින් වැටුප් වැඩිකිරීම සඳහා තෝරාගැනීමට යෝජනා දෙකක් ඉදිරිපත් කර තිබේ. ඒ අනුව හෙට දිනයේ සිට වැටුප් වැඩිකිරීම හා වැඩිකරන ලද වැටුප ආචාර්යවරුන්ට ලබාදීම හෝ ලබන අයවැයෙන් වැටුප් වැඩිකරන තෙක් තාවකාලික වැටුප් වැඩිවීමක් ලබාදීම යන යෝජනා දෙක අතරින් කැමති යෝජනාවක් තෝරාගන්නා ලෙසද ඔවුන් නිලධාරීන්ට දැනුම් දී තිබේ.
  
     මෙහිදී මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා පවසා ඇත්තේ මෙම යෝජනා සම්බන්ධයෙන් ඉහළ නිලධාරීන් සමඟ සාකච්ඡා කොට දැනුම් දෙන බවයි. මෙහිදී ආචාර්යවරුන් පවසා ඇත්තේ තමන් කිසිවෙකුගේ වාචික පොරොන්දු භාර නොගන්නා බවයි. එමෙන්ම ජනාධිපතිවරයා‍ හෝ වෙනත් දේශපාලනඥයින්ගේ පොරොන්දු සම්බන්ධයෙන්ද සිය විශ්වාසය බිඳ වැටී ඇතැයිද ඔවුහූ වැඩිදුරටත් පැවසූහ. එබැවින් මෙම පොරොන්දු සියල්ල මුදල් අමාත්‍යාංශයේ හෝ වෙනත් අමාත්‍යාංශයක නිල චක්‍රලේඛයක් ලෙස නිකුත් කරන ලෙස ද ඔවුහූ වැඩිදුරටත් ඉල්ලා සිටින ලදී. 
      ඉන් අනතුරුව ආචාර්ය සමිති සම්මේලනයේ නිලධාරීන් පෙන්වා දී ඇත්තේ සිය ප්‍රධාන ඉල්ලීම වැටුප් වැඩිවීම නොව ජාතික විශ්වවිද්‍යාල පද්ධතිය ආරක්ෂා කිරීම වූ බවත් ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හෝ වගකිවයුතු කිසිවෙක් මෙතෙක් ප්‍රතිචාර දක්වා නැති බවත්ය. ඒ සම්බන්ධයෙන් බලධාරීන් දැනුවත් කිරීමටද නිලධාරීන් පොරොන්දු වී තිබේ.
      නැවත සාකච්ඡා පිළිබඳ එකඟතාවයකින් තොරවම මෙම සාකච්ඡාව අවසන් වී තිබේ. මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් සාකච්ඡා කර තීරණයක් ගැනීම සඳහා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ඊයේ
(04 සෙනසුරාදා) පෙ.ව. 10ට රැස්වීමට නියමිතව තිබේ.

0 comments:

Post a Comment