Subscribe:

සරසවි මිල්ටරීකරණය ගුරුවරුන් හෑල්ලුකර ජනතා මුදල් කාබාසිනියා කරන‍ බොළඳ වැඩක් -ලංකා ගුරු සේවා සංගමය

     විශ්වවිද්‍යාලවලට ඇතුළත් කරගැනීමට නියමිත සිසුන් සඳහා ලබාදීමට නියමිත හමුදා පුහුණුවට විරෝධය පළකරමින් ලංකා ගුරු සේවා සංගමය නිවේදනයක් නිකුත් කර තිබේ.

      මෙම ක්‍රියාවලිය හරහා වසර 13 ක් පාසල් පංති කාමරවල සිදුකළ ඉගෙනුම් ඉගැන්වීම් ක‍්‍රියාවලියේදීත් විෂයට සමගාමී ක‍්‍රියාකාරකම්වලදීත් මෙන්ම ප‍්‍රජා සහභාගීත්ව ක‍්‍රියාකාරකම්වලදීත් අනේකවිද කැපවීම් සිදුකරමින් මෙරට ගුරු පරපුර ඉටුකළ කාර්යභාරය බරපතල ලෙස හෑල්ලූවට ලක්කෙරෙන බවද ලංකා ගුරු සේවා සංගමය එම නිවේදනය මඟින් වැඩිදුරටත් පවසා තිබේ.

එම නිවේදනයේ මෙසේද සඳහන්‍ වේ.

      "මනා පෞරුෂයකින් හෙබි උගත් මෙන්ම බුද්ධිමත් පුරවැසියකු රටට දායාද කිරීමත් පාසල් අධ්‍යාපනයේ ඒකායන අරමුණයි. ඒ සඳහා රජය විසින් දස දහසකට ආසන්න පාසල් පද්ධතියත්, දෙලක්‍ෂයකට අධික ගුරුවරුන් පිරිසක් හා පළවෙනි ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා සැලසුම් කල විෂය මාලාවක් මෙන්ම ඊට සමගාමී වූ විෂය ක‍්‍රියාකාරකම් රැුසක් හඳුන්වා දෙමින් ක‍්‍රියාවට නංවයි. ඒ සඳහා ප‍්‍රමාණවත් නොවූවොත් යම් මුදලක් රජය විසින් වාර්ෂිකව වෙන් කරනු ලබයි.

එසේ තිබියදී ආණ්ඩුවේ උසස් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් විශ්ව විද්‍යාල සිසුන් සඳහා සැලසුම් කර ඇති මෙම හමුදා කඳවුරු පුහුණුවත් එහි අරමුණත් දෙස බැලීමේදීත් පැහැදිලිවන්නේ මෙරට පාසල් අධ්‍යාපනය මගින් මෙතෙක් ඉටු කළ කාර්ය භාරය බෙහෙවින්ම අසාර්ථක වුවක් බව නොවේද? මෙය බරපතල ගැටළුවකි. එසේම මේ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට පිළිතුරු දිය යුතුද බරපතල ගැටලුවකි. තවද විශ්ව විද්‍යාල සිසුන් 20,000ක් සම්බන්ධ වන එම හමුදා පාඨමාලා සඳහා ආණ්ඩුව විසින් රුපියල් කෝටි 20ක් වියදම් කරන බවද පවසයි. උසස් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් එහි අමාත්‍යවරයාගේ උපදෙස් මත සති 3ක් තුළ ලබාදෙන මෙම පුහුණුව තුළ ගෝලීය වෙනස්කම්, ඉතිහාසය, සරඹ, නායක පෞරුෂය, ගැටුම් කළමණාකරණය, මනෝ විද්‍යාව, ලිංගික අධ්‍යාපනය, නීතිය, පෞද්ගලික සනීපාරක්‍ෂාව ආදී වශයෙන් විශාල විෂයයන් ප‍්‍රමාණයක් උගන්වන බවද පැවසේ. නමුත් මෙම පාඨමාලා පැවැත්වෙන සති 3ක කාලය තුළ මෙම විෂයයන් හඳුන්වා දීමටවත් කාලයක් තිබේද යන බරපතල සැකය මෙරට ගුරුවරුන් ලෙස අපට ඇත. එසේම 20,000ක් සහභාගී වන සිසුන් පිරිසකට කඳවුරු 28ක් තුළ මෙම විෂයයන් ඉගැන්වීමට විශ්ව විද්‍යාල ආචාර්යවරුන් හෝ ගුරුවරුන් සහභාගී කරනොගන්නා තත්වයක් තුළ හමුදා කඳවුරු තුළ මේ සඳහා සුදුසුකම් ඇත්තේ කවර කෙනෙකුටද යන්න බරපතල සැකයකි.

      මෙරට සිසුන් ලබන පාසල් අධ්‍යාපනය මෙන්ම එය ලබාදුන් ගුරු පරපුරද බරපතල ලෙස හෑල්ලූවට ලක්කර ඒ වෙනුවෙන් මුදල් කෝටි ගණනක් නාස්ති කරමින් උසස් අධ්‍යාපනය පෞද්ගලීකරණය ඇතුළු මෙරට අධ්‍යාපනය තුළ සිදුකරන බොහෝ අසාධාරණකම්වලට එරෙහිව නැගී සිටින මෙරට උගත් මෙන්ම බුද්ධිමත් විශ්ව විද්‍යාල සිසුන්ගේ ක‍්‍රියාමාර්ග මර්දනය කිරීම සඳහා ආණ්ඩුවේ උවමනාව වෙනුවෙන් උසස් අධ්‍යාපන ඇමති විසින් ගන්නා තවත් බොලඳ උත්සාහයක් මිස අන් යමක් නොවන බව පෙන්වා දෙන ලංකා ගුරු සේවා සංගමය උගත් මෙන්ම බුද්ධිමත් සිසුන් පිරිසක් අයාලේ යන ආණ්ඩුවේ දේශපාලන උවමනාව වෙනුවෙන් සති 3ක් තුළ ශික්‍ෂණය කළ නොහැකි බවත් ඔවුන්ද මෙම සමාජයේ සියලු දේ අහිමිව පීඩා විඳින ජනතාවගේ දූ පුතුන් බවද ආණ්ඩුව විසින් තේරුම් ගත යුතු සත්‍යයකි. එහෙයින් මෙරට ගුරු පරපුරද හෑල්ලූවට ලක්කරමින් ජනතාවගේ මුදල් කාබාසිනියා කරන පටු දේශපාලන උවමනාවන් සාර්ථක කරගැනීමට ගන්නා මෙවැනි බොලඳ ආණ්ඩුවේ ක‍්‍රියාමාර්ග වහා අකුලා ගන්නා ලෙස ලංකා ගුරු සේවා සංගමය බලකර සිටී."

0 comments:

Post a Comment