Subscribe:

සරසවි ඇදුරු සටනට රජරට සිසු සහය

     සරසවි අධ්‍යාපනය අඩාල නොකොට ආචාර්යවරුන්ගේ සාධාරණ ඉල්ලීම් ලබාදීමට කටයුතු කරන ලෙස ආණ්ඩුවට බලකරමින් අද (24 අඟහරුවාදා) රජරට සරසවියේදී සිසු උද්ඝෝෂණයක් පැවති බව වාර්තා වේ.

      අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ මෙහෙයවීමෙන් පැවැති මෙම උද්ඝෝෂණය අද දහවල් 12.30 සිට 1.30 දක්වා පැවැත්විණි.

      ආණ්ඩුව විසින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සාධාරණ ඉල්ලීම් ලබා නොදීමට එරෙහිව සහ ආණ්ඩුව එම අරගලය හමුවේ දඩබ්බර ලෙස හැසිරීම හේතුවෙන් මේ වන විට විශ්වවිද්‍යාල අධ්‍යාපනය බරපතල ලෙස බිඳ වැටීම හේතුවෙන් මෙම උද්ඝෝෂණික ක්‍රියාමාර්ගයට එළඹුණු බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය පවසයි.

      එපමණක් නොව උසස් අධ්‍යාපන ඇමතිවරයා, මීට පෙර සිටි කිසිදු උසස් අධ්‍යාපන අමාත්‍යවරයෙක් සිදු නොකළ ආකාරයට හා රටේ ඇමතිවරයෙකුට කිසිසේත් සුදුසු නොවන ආකාරයට හැසිරෙමින් සරසවි ආචාර්යවරුන්ට පහත් ලෙස බැණ වැදීමට හා නිග‍්‍රහ කිරීමට කටයුතු කරමින් සිටින බවද අ.වි.ශි.බ.ම.ය වැඩිදුරටත් පෙන්වා දෙයි.

      මෙලෙස ජනතා බලවේගයන්ට රාජ්‍ය බලය යොදවා පහරදෙමින්, නිග්‍රහ කරමින් සිදුකරන ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලනයට එරෙහිව පෙළ ගැසෙන ලෙස මෙරට සියලු ජනතාවගෙන් ඉල්ලා සිටින අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය, තමන් ආචාර්යවරුන්ගේ මෙම අරගලයට කොන්දේසි විරහිතව සහය පළකරන බවද පවසයි.

      එමෙන්ම ආණ්ඩුව මේ සම්බන්ධයෙන් ඉක්මන් ක්‍රියාමාර්ග නොගත හොත් ඉදිරියේදී අනෙකුත් විශ්වවිද්‍යාලද මෙම තත්ත්වයට එරෙහිව සටනට කැඳවන බවද අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය වැඩිදුරටත් පවසයි.

0 comments:

Post a Comment