Subscribe:

සරසවි ඇදුරන් 550කට මෙරට එපා වෙයි

     උසස්‌ අධ්‍යාපනය සඳහා විදේශගත වූ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් පන්සිය පනහක පමණ පිරිසක්‌ යළි මෙරටට පැමිණ නැතැයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා ආරංචිමාර්ග අනාවරණය කරයි.

      උසස්‌ අධ්‍යාපනය අවසන් වීමෙන් පසුව යළි විශ්වවිද්‍යාල සේවයට පැමිණීමේ එකඟතාව මත අත්සන් කෙරෙන ඇප බැඳුම්කර ගිවිසුම් මුළුමනින්ම උල්ලංඝනය කර ඇති මෙම ආචාර්යවරුන් අතරින් කොටසකට ඒ ඒ විශ්වවිද්‍යාල මගින් නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇත. මෙලෙස ගිවිසුම් උල්ලංඝනය කරන ආචාර්යවරුන් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ පූර්ණ වගකීම විශ්වවිද්‍යාල සතු වුවත් ඇතැම් විශ්වවිද්‍යාල බලධාරීන් ඔවුනට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග නොගන්නා බවද ප්‍රතිපාදන කොමිෂන් සභාවට වාර්තා වී තිබේ.

      විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් වැඩිකිරීම ඇතුළු ගැටළු රාශියක් සම්බන්ධයෙන් රජයට ඉල්ලීම් ඉදිරිපත්ව ඇතත් මේවන තෙක් ඊට විසදුම් ලබාදී නොමැත. එම ඉල්ලීම් මැතිවරණ සමයේ ලබා දෙන බොරු පොරොන්දුවලට පමණක් සීමාවී තිබේ. එවැනි තත්වයක් තුළ මෙරට විශ්වවිද්‍යාල ආචාර්යවරුන් දැඩි අසීරුතාවට පත්ව තිබීමද මේ ආකාරයෙන් විදේශගතවීමට බලපා ඇති බව අප සමඟ අදහස් දැක්වූ ආචාර්යවරයෙක් පැවසීය.

දරුවන්ගේ අධ්‍යාපන අයිතිය වෙනුවෙන් මව්පියෝ ගස් නඟිති

     සිය දරුවන්ට සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය ලබාගැනීමට හැකිවන පරිදි වත් පාසලේ පහසුකම් පුළුල් කරන්නැයි ඉල්ලා වලස්මුල්ල ප්‍රදේශයේ පාසලක මව්පියවරුන් පිරිසක් ගසක් මතට නැග මාරාන්තික උපවාසයක් පසුගියදිනක ආරම්භකර තිබිනි.

     වලස්මුල්ල, අළුපොත්දෙණිය විද්‍යාලයේ සිසු දරුදැරියන්ගේ මව්පියන් සිව්දෙනෙකු මෙම විරෝධතාවයට එක්වී තිබේ. අදාල විදුහලේ පන්ති පැවැත්වෙන්නේ 9 වසර දක්වා පමණක් බවත්, අවම වශයෙන් 10, 11 වසර පන්ති වත් නිල ලෙස මෙම විදුහලේ පවත්වන ලෙසත් මෙම දෙමව්පියෝ ඉල්ලා සිටිති. මේ වනවිට පාසලේ ගුරුවරුන් විසින් 10, 11 වසර සඳහා සිසුන්ට පන්ති පවත්වමින් අධ්‍යාපනය ලබාදීමට උත්සාහ කළද එම සිසුන්ට සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත්වීමට අවස්ථාව ලැබී නොමැති බවද ඔවුහූ පෙන්වා දෙන ලදී.

     මෙම ඉල්ලීම බලධාරීන් විසින් ඉටු නොකළ හොත් සිය සිරුරට ගිනි තබාගන්නා බවටද මෙම දෙමව්පියෝ අනතුරු හඟවූබවද වාර්තාවින.

සිසුන්ගේ මානව අයිතිවාසිකම් හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් අන්තරය එක්සත් ජාතීන් හමුවට

     පහතින් දැක්වෙන්නේ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් එක්සත් ජාතීන්න්ගේ සංවිධානයට ඉදිරිපත් කරනලද නිවේදන‍යේ සිංගල පරිවර්ථනයයි. 

     ශ‍්‍රී ලංකාව තුළ මානව අයිතිවාසිකම් හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය සම්බන්ධව විශාල ගැටළුකාරී වාතාවරණයක් නිර්මාණය වී ඇති බව ඔබ ආයතනය කිසියම් අවබෝධයකින් පසුවන්නේ යැයි සිතමු. යථෝක්ත තත්ත්වය අද වන විට ඉතාමත් භයානක ලෙස වර්ධනය වෙමින් පවතින අතර රටේ විශ්වවිද්‍යාල පද්ධතිය එකී ප‍්‍රජාතන්ත‍්‍රවිරෝධී වැඩපිළිවෙලෙහි ගොදුරක්ව ඇත්තේ කෙසේදැයි ඔබතුමාගේ අවධානයට යොමු කරවීම මෙම ලිපියේ අරමුණයි.

     ඕනෑම රටක ශිෂ්‍ය ව්‍යාපාරයක් සේම, ලංකාවේ විශාලතම හා ප‍්‍රධානම ශිෂ්‍ය සංවිධානය වන අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය ලෙස අපද රටේ ජනතාවට බලපාන ජාතික මට්ටමේ ගැටළුවලදී මෙන්ම අධ්‍යාපනය සම්බන්ධ කාරණාවලදී ද ඍජුවම මැදිහත් වීමු. දශක තුනකට අධික කාලයක් තුළ විවිධ මට්ටමේ මර්දනයන්ට ගොදුරු වීමට අපට සිදු වූයේ එම මැදිහත් වීම් තීරණාත්මක වූ බැවිනි. අද ද ක‍්‍රියාත්මක වෙමින් පවතිනුයේ එම මර්දනයේම දිගුවකි.

     ලංකාව තුළ ක‍්‍රියාත්කවන මර්දනය ශිෂ්‍යයන්ට එරෙහිව පමණක් නොව වෙනස් විරුද්ධ මත දරන හෝ සිය අයිතීන් වෙනුවෙන් පෙනී සිටින ඕනෑම සංවිධානයකට හෝ පුද්ගලයෙකුට එරෙහිව ආණ්ඩුව විසින් ක‍්‍රියාත්මක කරවන්නකි.

     විපක්ෂයේ දේශපාලන පක්ෂ ඉලක්ක කර කරනු ලබන පහරදීම්, මාධ්‍යවේදීන්ට කරනු ලබන තර්ජන, පහරදීම්, මරා දැමීම් හා මාධ්‍ය ආයතන ගිනි තැබීම්, උතුරු නැගෙනහිර සිවිල් පරිපාලනයක් ස්ථාපිත නොකර සාමාන්‍ය දමිල වැසියන්ට එරෙහිව මුදා හරින ප‍්‍රචණ්ඩත්වය, පොලීසිය හා නීතිපති දෙපාර්තමේන්තුව හරහා රටේ නීති පද්ධතියට කරනු ලබන බලපෑම මෙම මර්දනය ක‍්‍රියාත්මකවන විවිධ ස්වරූපයක් වේ. ඒ අතර රටේ විශ්වවිද්‍යාල ඉලක්ක කර එල්ල කරනු ලබන්නේද සැළසුම් සහගත ප‍්‍රහාරයන් වැලකි. ඒ අනුව විශ්වවිද්‍යාල තුළ ශිෂ්‍යයන්ගේ පමණක් නොව ආචාර්යවරුන්ගේ පවා ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් කප්පාදු කොට ඇත. ඒ අනුව පසුගිය වසරක කාලය තුළ මෙම මර්දනය ඉතා දැඩිව ක‍්‍රියාත්මක වුණි. පසුගිය වසර තුළ බොරු චෝදනා මත පංති තහනම් කරන ලද ශිෂ්‍ය ප‍්‍රමාණය 300 කට අධිකය. අත් අඩංගුවට ගෙන සිරගත කරන ලද සංඛ්‍යාව 40 ද ඉක්මවයි. විශ්වවිද්‍යාල තුළ ආණ්ඩුවේ මැරයන් විසින් කරන ලද පහරදීම් හා ඒ නිසා සිසුන් තුවාල ලැබූ අවස්ථා ඉතා විශාලය. උසස් අධ්‍යාපන අමාත්‍යවරයාගේ සෘජු මැදිහතවීම මත අවස්ථා ගණනාවකදීම සිසුන්ට පහර දෙන ලදි.ආචාර්යය වරුන්ට පීඨාධිපතිවරයකු පත්කරගැනීමට ඡුන්දය භාවිතා කිරීමේ අයිතිය උපකුලපතිවරයා විසින් උදුරාගන්නා ලදි.

     අද ඉතා ඉහළ තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇත්තේ ක‍්‍රමිකව වර්ධනය වූ මෙම තත්ත්වයයි. සබරගමුව විශ්වවිද්‍යාලයේ නීත්‍යානුකූලව පිහිටුවනු ලැබූ ශිෂ්‍ය සංගම් සියල්ල තහනම් කරනු ලැබුවේ ඒ අනුව යමිනි. මෙය ඉතාමත්ම භයානක තත්ත්වයක්වන අතර විශ්වවිද්‍යාලය තුළ මුළුමනින්ම ප‍්‍රජාතන්ත‍්‍රවාදය හැකිළීමක් බව ඔබතුමාගේ අවධානයට යොමු කර සිටිමු.

     ශිෂ්‍ය සංගම් 1978 අංක 16 දරන පනතෙහි ප‍්‍රතිපාදන මත ස්ථාපිත කර ඇත්තේ සිසුන්ට විශ්වවිද්‍යාලය තුළ මෙන්ම පිටතදී තමන් නියෝජනය කිරීම සඳහා නියෝජිතයන් පත්කරගැනීම සඳහාය. ශිෂ්‍ය සංගම් තහනම් කිරීම හරහා නීත්‍යානුකූලව හිමිවූ මෙම අයිතිය අහෝසිකොට ඇත. මෙවැනි ශිෂ්‍ය සංගම් තහනම් කිරීමක් ආණ්ඩුව මැදිහත්ව කර ඇත්තේ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා විසින් 1983 වර්ෂයේදීය. එදා ශිෂ්‍ය සංගම්, දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති, තහනම් කර ආරම්භකළ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී පාලනය අවසන්වූයේ රටට වටිනා ජීවිත දහස් ගණනක් අහිමි කර බව ලෝකයම දන්නා කරුණකි. ශිෂ්‍ය සංගම් තහනම් කර වත්මන් ආණ්ඩුව විසින් විශ්වවිද්‍යල තුළ කරන මැදිහත්වීම එවැනි ඉතා භයානක මැදිහත්වීමකට කරන පූර්ව සූදානමක් ලෙස අපි දකිමු.

     ඒ අනුව රට හමුවේ මානව අයිතීන් මුළුමනින්ම උල්ලංඝනය වන ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී වටපිටාවක් නිර්මාණයවී ක‍්‍රමිකව වර්ධනය වෙමින් පවතී. ඒ පිළිබඳව දැනුවත් කිරීම මෙම ලිපියේ අරමුණ වන අතර ඒ පිළිබඳව තව දුරටත් ඔබතුමාගේ අවධානය යොමු කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

කුමන බාධා පැමිණියත් අයිතීන් වෙනුවෙන් සටන් වැදීමට සිසුන් පසුබට වන්නේ නැහැ - අ.වි.ශි.බ.ම කැඳවුම්කරු

      කුමන බාධා පැමිණියද තම අයිතීන් වෙනුවෙන් සටන් වැදීමට ශිෂ්‍යයින් කිසිසේත් පසුබට නොවන බවත් සිසුන්ගේ එම අරගලයට අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය ලෙස නායකත්වය සපයන බවත් එම බල මණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය. ඔහු මේ බව ප්‍රකාශ කළේ සබරගමුව විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගම් තහනම් කිරීමට පාලනාධිකාරිය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් අප වෙත අදහස් දක්වමිනි.


     එහිදී අදහස් දැක්වූ ඒ මහතා පෙන්වාදුන්නේ මෙය වත්මන් ආණ්ඩුව ශිෂ්‍යයින් වෙත දියත්කර ඇති මර්දනයේ තවත් එක් අවස්ථාවක් බවයි. සිසුන්ගේ සාධාරණ ඉල්ලීම් ලබා දෙනවා වෙනුවට එම ඉල්ලීම් ඉල්ලා සටන් වදින සිසුන් මර්දනය කිරීමේ දිශාවට ආණ්ඩුව යොමුව ඇති බවත් එම තත්වය දැඩි පිළිකුළින් යුතුව හෙලා දකින බවත් ඔහු ප්‍රකාශ කළේය.
තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා, විශ්වවිද්‍යාල තුළ ශිෂ්‍ය සංගම් සිදුකළේ නීතිවිරෝධී කටයුතු නොවන බවත් ඒවා සැමවිටම සිසුන්ගේ අයිතීන් වෙනුවෙන් කටයුතු කළ බවත් පෙන්වාදුන්නේය. එමෙන්ම සබරගමුව සරසවිය තුළ සිසුන් වෙනුවෙන් හඩ නැගි සිසු නායකයින් 58 දෙනෙකුගේ පංති තහනමට ලක්කර ඇති බවත් එයින්ද නොසැලී සිසුන් දිගටම ඉල්ලීම් වෙනුවෙන් පෙනී සිටි මොහොතේ මෙලෙස ශිෂ්‍ය සංගම් තහනම් කිරීමට ආණ්ඩුව කටයුතු කර ඇති බව ඔහු ‍පෙන්වු දුන්නේය.

     කෙසේ වෙතත් ශිෂ්‍ය සංගම් තහනම් කිරීමෙන් සිසු අරගල නතර කළ නොහැකි බව අවධාරණය කළ ඒ මහතා මින් ඉදිරියටත් සිසුන් තම ඉල්ලීම් වෙනුවෙන් සටන් වදින බව ප්‍රකාශ කළේය.

සබරගමුවේ සියලු ශිෂ්‍ය සංගම් තහනම් කෙරේ


     වහාම ක්‍රියාත්මකවන පරිදි සබරගමුව විශ්වවිද්‍යාලයේ සියලුම ශිෂ්‍ය සංගම් තහනම් කළ බව එහි උපකුලපති මහාචාර්ය එස්.රූපසිංහ මහතා ප්‍රකාශ කළේය. ඔහු ප්‍රකාශ කළේ ශිෂ්‍ය සංගම් විසින් සරසවිය තුළ ක්‍රියාත්මක විනය නීති රීතීන් උල්ලංඝනය කිරීමට සිසුන් වෙත අනුබල සපයන බැවින් මෙම පියවර ගත් බවයි.