Subscribe:

සරසවි මිල්ටරීකරණයට වෙන්කල මුදලින් මිලියන 90ක් දැනටම ඉවරයි

     ආණ්ඩුව විසින් විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීමට නියමිත නවක සිසු සිසුවියන් වෙනුවෙන් ආරම්භ කිරීමට යෝජිත පාඨමාලාවට එරෙහිව අධිකරණය විසින් නිකුත් කළ නියෝගය මෙතෙක් තමන්ට ලැබී නොමැති බව උසස් අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

     එම අමාත්‍යාංශයේ ලේකම් සුනිල් ජයන්ත නවරත්න මහතා අද (22) පෞද්ගලික ජනමාධ්‍යයකට අදහස් දක්වමින් මේ බව පවසා තිබේ. ඒ මහතා එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා ඇත්තේ අදාල පෙත්සම් විභාගයේ විත්තිකරුවන් ලෙස උසස් අධ්‍යාපන අමාත්‍යාංශ නියෝජිතයන් අධිකරණයට කැඳවා නොතිබූ බවයි. ඒ අනුව නීතිපති උපදෙස් මත එම පාඨමාලාව පැවැත්වීමට තීරණය කළ බවද ඒ මහතා එහිදී වැඩිදුරටත් පවසා තිබේ.

     එමෙන්ම මෙම පාඨමාලාව සඳහා වෙන්කළ රුපියල් මිලියන 200ක මුදලින් රුපියල් මිලියන 90ක්ම දැනට වියදම් කර අවසන් බවද උසස් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා එහිදී අනාවරණය කර තිබේ.

     හෙට දිනයේ සිට ඇරඹීමට නියමිත මෙම පාඨමාලාව යටතේ සිසුන් දස දහසකට හමුදා කඳවුරුවලදී පුහුණුව ලබාදීමට කටයුතු යොදා තිබේ. අසනීපවලින් පෙළෙ‍න හෝ විභාගවලට පෙනීසිටීමට නියමිතව ඇති සිසුන් හැර අනෙක් සියලුම සිසුන් අනිවාර්යයෙන්ම මෙම පාඨමාලාවට සහභාගීවිය යුතු බවද උසස් අධ්‍යාපන අමාත්‍යාංශය අවධාරණය කරයි.

     මෙම පාඨමාලාවට විරෝධය පළකරමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සහ මානව හිමිකම් සුරැකීමේ ශිෂ්‍ය ව්‍යාපාරය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සමක් ගොනුකරනු ලැබූ අතර ඒ අනුව මෙම පාඨමාලාව පැවැත්වීම සතියකින් කල් දැමීමට නියෝග කර තිබිණි.

0 comments:

Post a Comment